Friday, April 20, 2012

කොරියාවේ මානව සම්පත් සංවර්ධන පදනමෙන් ජනපතිට සම්මානයක්‌

කොරියාවේ මානව සම්පත් සංවර්ධන
පදනමෙන් ජනපතිට සම්මානයක්‌


2011 වසරේ ගුණාත්මක ශ්‍රමික පිරිස්‌ කොරියාව වෙත පිටත්කර යෑවීම සම්බන්ධයෙන් හොඳම රට ලෙස ලංකාව පිළිගනිමින්, වැඩසටහනට දෙනු ලබන සහාය අගයා කොරියාවේ මානව සම්පත් සංවර්ධන පදනම විසින් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත විශේෂ සම්මානයක්‌ ප්‍රදානය කිරීම ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජෝන් මුන් චොයි මහතා අතින් ඉකුත් (18 වැනිදා) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

කොරියානු රැකියා වැඩසටහන තුළ ඉහළ විනිවිදභාවයකින් යුක්‌තවීම, කාර්යක්‍ෂමතාව ඉහළ මට්‌ටමක තිබීම, හොඳම භාවිතාවන් පවත්වාගෙන යැම යන කරුණු තුන පදනම් කරගෙන දකුණු කොරියාවට ශ්‍රමිකයන් යවන රටවල් 15 අතුරින් හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන මෙම සම්මානය පිරිනමා ඇත.

කොරියානු රැකියා සඳහා කොළඹින් පිට ග්‍රාමීය තරුණ තරුණියන් විශාල වශයෙන් යොමු කිරීමේ අරමුණෙන් 2011 වසරේ නව ක්‍රියාමාර්ග රැසක්‌ දියත් කළ වර්ෂයක්‌ විය. විශාල පිරිසකට භාෂා දැනුම ලබාදීම,

50,000 කට අධික පිරිසක්‌ විභාගයට උනන්දු කරවීම, විභාග අයදුම්පත්‍ර ඈත ගම් නගරවල පිරිස්‌ වෙත ලබාගැනීම පහසු කරවීම, හතළිස්‌ දහසක්‌ ඉක්‌මවන පිරිසකට එකවර භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වීම, ප්‍රථම වතාවට 9998 දෙනකුට විභාගය සමත් වීමට අවස්‌ථාව උදාකරදීම මගින් කොරියානු රැකියා වැඩසටහන එම වසරේÊදී විශේෂයෙන් කැපී පෙනීම නිසා මෙම සම්මානය ලංකාවට හිමිවිය.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ අදාළ සම්මානය ජනාධිපතිවරයා වෙත කොරියානු තානාපතිවරයා විසින් පිළිගැන්වූ අයුරුයි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, ක්‍රියාකාරී අධ්‍යක්‌ෂ නලීන් තරංග ගම්ලත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය, කොරියානු මානව සම්පත් සංවර්ධන පදනමේ අධ්‍යක්‍ෂ කිම් කයින් භයින් (දකුණු පස) යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙති.

ජනපතිගේ දකුණු කොරියානු සංචාරය

ජනපතිගේ දකුණු කොරියානු සංචාරය 23 වැනිදා

අනුර බාලසූරිය

දකුණු කොරියානු ජනාධිපති ලී මයුං බක්‌ මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මේ මස 23 දා සිට 27 දක්‌වා දකුණු කොරියාවෙහි නිල සංචාරයක නිරත වනු ඇත. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‌ෂ මහත්මියද මෙම සංචාරයට එක්‌ වනු ඇත. මෙම දකුණු කොරියානු සංචාරයේදී ජනාධිපති රාජපක්‌ෂ මහතා දකුණු කොරියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට ද මෙම සංචාරය තුළදී අත්සන් කෙරේ.

සෝල් නුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සංගම් හතරක්‌ (4) මගින් සංවිධානය කෙරෙන ව්‍යාපාරික භෝජන සංග්‍රහයකට සහභාගිවීමට හා බූසාන් වාණිජ හා කර්මාන්ත මණ්‌ඩලයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා - කොරියානු ව්‍යාපාරික සංසදය අමතා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දේශනයක්‌ පැවැත්වීමට නියමිතය. තවද ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දකුණු කොරියාවේ ප්‍රමුඛ වෘත්තීය සංගම් සංවිධානයන්හි ප්‍රධානීන් ද හමුවීමට නියමිතය. ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක්‌ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්‌ වෙති.

Followers