Friday, April 20, 2012

කොරියාවේ මානව සම්පත් සංවර්ධන පදනමෙන් ජනපතිට සම්මානයක්‌

කොරියාවේ මානව සම්පත් සංවර්ධන
පදනමෙන් ජනපතිට සම්මානයක්‌


2011 වසරේ ගුණාත්මක ශ්‍රමික පිරිස්‌ කොරියාව වෙත පිටත්කර යෑවීම සම්බන්ධයෙන් හොඳම රට ලෙස ලංකාව පිළිගනිමින්, වැඩසටහනට දෙනු ලබන සහාය අගයා කොරියාවේ මානව සම්පත් සංවර්ධන පදනම විසින් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත විශේෂ සම්මානයක්‌ ප්‍රදානය කිරීම ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජෝන් මුන් චොයි මහතා අතින් ඉකුත් (18 වැනිදා) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

කොරියානු රැකියා වැඩසටහන තුළ ඉහළ විනිවිදභාවයකින් යුක්‌තවීම, කාර්යක්‍ෂමතාව ඉහළ මට්‌ටමක තිබීම, හොඳම භාවිතාවන් පවත්වාගෙන යැම යන කරුණු තුන පදනම් කරගෙන දකුණු කොරියාවට ශ්‍රමිකයන් යවන රටවල් 15 අතුරින් හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන මෙම සම්මානය පිරිනමා ඇත.

කොරියානු රැකියා සඳහා කොළඹින් පිට ග්‍රාමීය තරුණ තරුණියන් විශාල වශයෙන් යොමු කිරීමේ අරමුණෙන් 2011 වසරේ නව ක්‍රියාමාර්ග රැසක්‌ දියත් කළ වර්ෂයක්‌ විය. විශාල පිරිසකට භාෂා දැනුම ලබාදීම,

50,000 කට අධික පිරිසක්‌ විභාගයට උනන්දු කරවීම, විභාග අයදුම්පත්‍ර ඈත ගම් නගරවල පිරිස්‌ වෙත ලබාගැනීම පහසු කරවීම, හතළිස්‌ දහසක්‌ ඉක්‌මවන පිරිසකට එකවර භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වීම, ප්‍රථම වතාවට 9998 දෙනකුට විභාගය සමත් වීමට අවස්‌ථාව උදාකරදීම මගින් කොරියානු රැකියා වැඩසටහන එම වසරේÊදී විශේෂයෙන් කැපී පෙනීම නිසා මෙම සම්මානය ලංකාවට හිමිවිය.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ අදාළ සම්මානය ජනාධිපතිවරයා වෙත කොරියානු තානාපතිවරයා විසින් පිළිගැන්වූ අයුරුයි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, ක්‍රියාකාරී අධ්‍යක්‌ෂ නලීන් තරංග ගම්ලත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය, කොරියානු මානව සම්පත් සංවර්ධන පදනමේ අධ්‍යක්‍ෂ කිම් කයින් භයින් (දකුණු පස) යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙති.

ජනපතිගේ දකුණු කොරියානු සංචාරය

ජනපතිගේ දකුණු කොරියානු සංචාරය 23 වැනිදා

අනුර බාලසූරිය

දකුණු කොරියානු ජනාධිපති ලී මයුං බක්‌ මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මේ මස 23 දා සිට 27 දක්‌වා දකුණු කොරියාවෙහි නිල සංචාරයක නිරත වනු ඇත. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‌ෂ මහත්මියද මෙම සංචාරයට එක්‌ වනු ඇත. මෙම දකුණු කොරියානු සංචාරයේදී ජනාධිපති රාජපක්‌ෂ මහතා දකුණු කොරියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට ද මෙම සංචාරය තුළදී අත්සන් කෙරේ.

සෝල් නුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සංගම් හතරක්‌ (4) මගින් සංවිධානය කෙරෙන ව්‍යාපාරික භෝජන සංග්‍රහයකට සහභාගිවීමට හා බූසාන් වාණිජ හා කර්මාන්ත මණ්‌ඩලයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා - කොරියානු ව්‍යාපාරික සංසදය අමතා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දේශනයක්‌ පැවැත්වීමට නියමිතය. තවද ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දකුණු කොරියාවේ ප්‍රමුඛ වෘත්තීය සංගම් සංවිධානයන්හි ප්‍රධානීන් ද හමුවීමට නියමිතය. ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක්‌ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්‌ වෙති.

Sunday, May 8, 2011

ප්‍රභාකරන් මැරීම වැරදියි : බින් ලාඩන් මැරීම හරි

 

ප්‍රභාකරන් මැරීම වැරදියි : බින් ලාඩන් මැරීම හරිඑජා මානව හිමිකම් ප්‍රධානිගේ
දෙබිඩි පිළිවෙත හෙළිවෙයි


සමන් ගමගේ

ලොව දරුණුතම ත්‍රස්‌තවාදී නායකයන් දෙදෙනකු ලෙස හඳුන්වන වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ඔසාමා බින් ලාඩන් ඝාතනය සම්බන්ධව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී නවනීදන් පිල්ලේ මහත්මිය අනුගමනය කළ ක්‍රියාමාර්ග මතබේදවලට ලක්‌ව තිබේ.

ප්‍රභාකරන් ඝාතනය කිරීමේදී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළ ඇය බින් ලාඩන් ඝාතනය සම්බන්ධව ඇමෙරිකාවෙන් වාර්තාවක්‌ පමණක්‌ ඉල්ලා ඇත.

එහිදී ඇය ඉල්ලා ඇත්තේ ඔසාමා බින් ලාඩන් ඝාතනය කරනු ලැබුවේ ජාත්‍යන්තර නීතියට අනුවද යන්න පැහැදිලි කරන ලෙස පමණි. නවනීදන් පිල්ලේගේ එම ඉල්ලීමත් සමඟ ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණේ නිරායුධව සිටියදී බව කියමින් ඇමරිකාව ඒ පිළිබඳ වාර්තාවක්‌ ඉදිරිපත් කළ යුතු බව පවසා ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයද ප්‍රකාශයක්‌ කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී ඇමරිකාවෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එහි මහ ලේකම් බෑන්කී මූන් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටු වාර්තාව සාධාරණීකරණය කිරීමේ යටි අරමුණෙන් විය හැකි බව මේ පිළිබඳ අදහස්‌ දක්‌වන ජාත්‍යන්තර විචාරකයෝ සඳහන් කරති.

Thursday, April 7, 2011

ක්‍රිකට්‌ නායක ධුරය තිලකරත්න ඩිල්ෂාන්ට

ක්‍රිකට්‌ නායක ධුරය තිලකරත්න ඩිල්ෂාන්ට



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක ධුරය සඳහා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන ටී. එම්. ඩිල්ෂාන් ඊයේ (18 දා) නිල වශයෙන් නම් කර ඇත. මේ අනුව ඩිල්ෂාන් ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20-20 තරගවල නායකයා ලෙස කටයුතු කරනු ඇත.

හිටපු නායක කුමාර් සංගක්‌කාර අදාළ ධුරයෙහි ඉල්ලා අස්‌වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සඳහා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් දිල්ෂාන් නම් කරන ලදුව අදාළ යෝජනාවට ක්‍රීඩා ඇමැතිවරයාගේද අනුමැතිය ලැබී තිබේ.

දුලිප් මෙන්ඩිස්‌ මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද පළමු රාජකාරිය වූයේද කණ්‌ඩායම් නායකයා පත් කිරීමේ කටයුත්ත විය.

හිටපු ටෙස්‌ට්‌ නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර වත්මන් ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් වුවත් ඔවුන් තවදුරටත් කණ්‌ඩායමේ නායකත්වය දැරීමට අකමැත්ත පළ කිරීම මත මෙලෙස නායකත්වය සඳහා ටී. එම්. ඩිල්ෂාන් පිළිබඳ නිල සාකච්ඡා ඇරඹිණ.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාරට පසු කණ්‌ඩායමේ තෙවැනි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ටී. එම්. ඩිල්ෂාන්, ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20-20 කණ්‌ඩායම්වල නිත්‍ය සාමාජිකයකු වීම ශ්‍රී ලංකාවේ 11 වැනි නායකයා ලෙස අභිෂේක ලැබීමට බෙහෙවින් ඉවහල් වන්නට ඇත. 

කලුතර විද්‍යාලයෙන් ක්‍රිකට්‌ දිවිය ආරම්භ කරන ලද ඩිල්ෂාන් 1999 ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයේදී දක්‌වන ලද දක්‍ෂතා මත ජාතික කණ්‌ඩායමට කැඳවුම් ලැබීය. 1999 වසරේදී නොවැම්බර් මසදී සිම්බාබ්වේට එරෙහිව බුලවායෝහිදී ටෙස්‌ට්‌ වරම් හිමිකර ගත් ඩිල්ෂාන් තමා සහභාගිවූ දෙවැනි තරගයේදීම ලකුණු 163 ක්‌ වාර්තා කර ගැනීමට සමත්වූවේය.

එම තරගාවලියේදීම තම එක්‌දින තරග වරම්ද දින ගත් ඩිල්ෂාන් එතැන් සිට මැද පෙළ පිතිකරුවකු ලෙස 2009 වසර දක්‌වා ක්‍රීඩා කරනු ලැබූ අතුර දේශීය තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස දක්‌වන ලද දක්‍ෂතා පදනම්ව ඔහුව ආරම්භක පිතිකරුවකු ලෙස උසස්‌වීම් ලබා දෙන ලදී. 

උසස්‌වීම් ලද තරගයේ සිටම කැපී පෙනෙන දස්‌කම් දැක්‌වීමට සමත්වූ ඩිල්ෂාන් අදාළ 2009 වසර තුළදී ටෙස්‌ට්‌ ශතක 6 ක්‌ සහ එක්‌දින ශතක 5 ක්‌ වාර්තා කරමින් එම වසරේදී දෙඅංශයෙන්ම ලකුණු 1000 සීමාව පසුකර(ටෙස්‌ට්‌ තරග වල ලකුණු 1097 ක්‌ සහ එක්‌දින තරගවල ලකුණු 1000ක්‌) යැමට සමත්වූවේය.

එම වසරේදී එංගලන්තයේ පැවැති පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ලකුණු 317 ක්‌ රැස්‌ කරගත් ඩිල්ෂාන් (ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 52.83) එහිදී තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

අදාළ දක්‍ෂතා මත 2009 වසරේදී කණ්‌ඩායමේ උපනායකයා ලෙස ඩිල්ෂාන් නම් කෙරුණද පසුව ඔහු උපනායකත්වයෙන් ඉවත් කොට එම ධුරය පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට පිරිනමන ලදී. මුරලිදරගෙන් පසුව එය හිටපු නායක මහේල ජයවර්ධනට ලබාදෙන ලදී.

ඩිල්ෂාන් ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදීද ශතක 2 ක්‌ සමගින් මුලු ලකුණු 500 ක්‌ වාර්තා කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාවීමටද සමත්විය. එහිදී පන්දු යවමින්ද කඩුලු 9 ක්‌ බිඳ හෙළීම වැඩිදුරටත් කැපී පෙනෙයි.

ඩිල්ෂාන් ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ 11 වැනි නායකයාය. ඔහුට පෙර බන්දුල වර්ණපුර(1982-1983), දුලීප් මෙන්ඩිස්‌(1983-1987), රන්ජන් මඩුගල්ලෙ(1987-1989), අර්ජුන රණතුංග(1989-1991), අරවින්ද ද සිල්වා(1991-1992), අර්ජුන රණතුංග(1992-1999), සනත් ජයසූරිය(1999-2003), හෂාන් තිලකරත්න(2003-2004), මාවන් අතපත්තු(2004-2006, මහේල ජයවර්ධන(2006-2009), සහ කුමාර් සංගක්‌කාර(2009-2011) ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක තනතුරයන්හි ක්‍රියා කළහ.

ශ්‍රී ලංකා පොලිසියේ විශ්‍රාමික ටී. එම්. ජුනයිදීන් මහතාට සහ ඩබ්. ජී. නන්දනී ප්‍රියලතා මහත්මියට දාව 1976 වසරේ ඔක්‌තෝබර් 14 වැනිදා කලුතරදී උපතල ලද තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්, මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 66 කට සහභාගි වෙමින් එහිදී ශතක 11 ක්‌ සහ අර්ධ ශතක 16 ක්‌ සමගින් මුලු ලකුණු 3990 ක්‌ ලබා ගෙන සිටියි. එහිදී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.44 ක්‌ වශයෙන් රඳවා ගැනීමට සමත්වී සිටින ඩිල්ෂාන් පන්දු යෑවීමෙන් කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 33.31 ක්‌ රඳවා තබා ගනිමින් කඩුලු 19 ක්‌ දවාගෙන සිටියි.

සනත් ජයසූරියගෙන් පසු මෙරට බිහිවූ හොඳම ආරම්භක පිතිකරුවා වූ ඩිල්ෂාන් එක්‌දින තරග 203 කට ක්‍රීඩා කරමින් මුලු ලකුණු 5456 ක්‌ ලබාගෙන තිබේ. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.61 ක්‌ රඳවා තබාගෙන සිටින හෙතෙම එහිදී ශතක 10 ක්‌ සහ අර්ධ ශතක 22 ක්‌ රැස්‌ කරගෙන තිබේ. හෙතෙම එක්‌දින තරග කඩුලු 62 ක්‌ද දවාගෙන ඇත.

එක්‌දින තරග 5 කට නායකත්වය දී ඇති ඩිල්ෂාන් එහිදී තරග 3 ක ජය ශ්‍රී ලංකාවට ලබාදීමට සමත්වී තිබේ. එක්‌දින තරගවලට අමතරව පන්දුවාර 20-20 තරග 2 කටද හෙතෙම නායකත්වය දී තිබේ. 

මෙතෙක්‌ ශ්‍රී ලංකා පිල මෙහෙයවා ඇති නායකයන් 10 දෙනා අතුරින් සනත් ජයසූරිය හැර අනෙක්‌ සියලුම දෙනාම කොළඹ සහ ශ්‍රී ලංකාවේ සුපිරි පාසල් නියෝජනය කළ ක්‍රීඩකයන් වන අතර ජයසූරියට පසු ශ්‍රී ලංකා නායකත්වයට පත්වූ එවැනි දෙවැනි නායකයා වන්නේද ටී. එම්. ඩිල්ෂාන් වේ.

 


Thursday, March 24, 2011

ලොව වයස්‌ගතම පුද්ගලයා හඳුනා ගනී

ලොව වයස්‌ගතම පුද්ගලයා හඳුනා ගනී 
ඇය කාන්තාවක්‌ - වයස අවුරුදු 115 යි 



ඇයගේ ලේ නෑදෑ පරපුරවල් අටක්‌ පිළිබඳව පසුගියදා ඇය කතා කළ නමුත් දැන් ඇයගේ සිහි කල්පනාව එතරම් සතුටුදායක නොවේ.

පුංචි කාලයේ ගස්‌ නැගීමටත් වතුරට පැන පිහිනීමටත් ඇය ඉතා දක්‌ෂතා දැක්‌ වූ බව ඇයගේ නෑදෑයෝ පවසති.

පළමුවන ලෝක යුද්ධය සමයේදී ගුරුවරියක ලෙස පත්වීමක්‌ ලැබ ජෝර්ජියාවට සේන්දු වූ ඇය එක්‌දහස්‌ නවසිය විසිගණන්වලදී විවාහ වූවාය. සිය සැමියා සමඟ (කූපර් මහතා සමඟ) ඇය වසර 40 ක්‌ යුග දිවිගත කළ අතර මීට වසර පනහකට පමණ පෙර ඔහු මියගොස්‌ තිබේ. ඉන්පසුව වයස අවුරුදු 105 දක්‌වාම ඇය තනිවම තම නිවසේ ගත කර ඇත්තේ එම නිවෙස අත්හැර යැමට තිබූ අකමැත්ත නිසාය. දැනට ඇස්‌ පෙනීම ටිකක්‌ අඩු අතර, කන් ඇසීමද ටිකක්‌ අඩු බව ඇගේ දූ දරුවෝ කියති.

කූපර් යුවළට දරුවන් සිවු දෙනෙකි. ඔවුන් විවාපත් වූ පසුව දරු මුණුබුරන් දුසිම් ගණනක්‌ද ඒ දරුමුණුබුරන් ලොකු මහත් වී විවාහපත් වූ පසුව තවත් නව පරපුරක මුණුබුරු (great grand children) මිණිබිරියන් දුසිම් ගණනක්‌ද ඇයට නෑකම් කියති.

2009 වසරේදී ඇයගේ 113 වැනි උපන් දින උත්සවය පැවැත්විණි. එදින ඇය කිවේ "මා මගේ වැඩක්‌ බලාගෙන ඉන්නවා. ඒ එක්‌කම මම ඔය කඩචෝරු වගේ දහ ජරාව කන්නේ නෑ" කියාය.

කඩචෝරු කෑම කෙසේවත් හොඳ දෙයක්‌ නොවේ. ඔබත් කඩචෝරු කෑමෙන් වැළකී දිගු කාලයක්‌ ජීවත්වීමට වාසනාව ඇත්දැයි උත්සාහකර බලනවා. නම් හොඳයි නේද? 

********

බදුල්ලේ තල්දෙන ගම්මානයේ ජීවත් වූ අවුරුදු 115 ක්‌ වයස්‌ ගත වූ රන් මැණිකා නම් මාතාවක්‌ පසුගියදා මිය ගිය පුවත ගිය සතියේ පුවත් පත්වල පළ විය.

ඉහත සඳහන් වන්නේ ගිනස්‌ වාර්තා පොතේ සඳහන් වන කාන්තාවක්‌ පිළිබඳ පුවතකි.

රන්මැණිකා මාතාවට නිවන් සුව අත්වේවායි අපි පතමු.

Sunday, March 13, 2011

Followers