Thursday, April 7, 2011

ක්‍රිකට්‌ නායක ධුරය තිලකරත්න ඩිල්ෂාන්ට

ක්‍රිකට්‌ නායක ධුරය තිලකරත්න ඩිල්ෂාන්ට



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක ධුරය සඳහා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන ටී. එම්. ඩිල්ෂාන් ඊයේ (18 දා) නිල වශයෙන් නම් කර ඇත. මේ අනුව ඩිල්ෂාන් ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20-20 තරගවල නායකයා ලෙස කටයුතු කරනු ඇත.

හිටපු නායක කුමාර් සංගක්‌කාර අදාළ ධුරයෙහි ඉල්ලා අස්‌වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සඳහා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් දිල්ෂාන් නම් කරන ලදුව අදාළ යෝජනාවට ක්‍රීඩා ඇමැතිවරයාගේද අනුමැතිය ලැබී තිබේ.

දුලිප් මෙන්ඩිස්‌ මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද පළමු රාජකාරිය වූයේද කණ්‌ඩායම් නායකයා පත් කිරීමේ කටයුත්ත විය.

හිටපු ටෙස්‌ට්‌ නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර වත්මන් ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් වුවත් ඔවුන් තවදුරටත් කණ්‌ඩායමේ නායකත්වය දැරීමට අකමැත්ත පළ කිරීම මත මෙලෙස නායකත්වය සඳහා ටී. එම්. ඩිල්ෂාන් පිළිබඳ නිල සාකච්ඡා ඇරඹිණ.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාරට පසු කණ්‌ඩායමේ තෙවැනි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ටී. එම්. ඩිල්ෂාන්, ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20-20 කණ්‌ඩායම්වල නිත්‍ය සාමාජිකයකු වීම ශ්‍රී ලංකාවේ 11 වැනි නායකයා ලෙස අභිෂේක ලැබීමට බෙහෙවින් ඉවහල් වන්නට ඇත. 

කලුතර විද්‍යාලයෙන් ක්‍රිකට්‌ දිවිය ආරම්භ කරන ලද ඩිල්ෂාන් 1999 ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයේදී දක්‌වන ලද දක්‍ෂතා මත ජාතික කණ්‌ඩායමට කැඳවුම් ලැබීය. 1999 වසරේදී නොවැම්බර් මසදී සිම්බාබ්වේට එරෙහිව බුලවායෝහිදී ටෙස්‌ට්‌ වරම් හිමිකර ගත් ඩිල්ෂාන් තමා සහභාගිවූ දෙවැනි තරගයේදීම ලකුණු 163 ක්‌ වාර්තා කර ගැනීමට සමත්වූවේය.

එම තරගාවලියේදීම තම එක්‌දින තරග වරම්ද දින ගත් ඩිල්ෂාන් එතැන් සිට මැද පෙළ පිතිකරුවකු ලෙස 2009 වසර දක්‌වා ක්‍රීඩා කරනු ලැබූ අතුර දේශීය තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස දක්‌වන ලද දක්‍ෂතා පදනම්ව ඔහුව ආරම්භක පිතිකරුවකු ලෙස උසස්‌වීම් ලබා දෙන ලදී. 

උසස්‌වීම් ලද තරගයේ සිටම කැපී පෙනෙන දස්‌කම් දැක්‌වීමට සමත්වූ ඩිල්ෂාන් අදාළ 2009 වසර තුළදී ටෙස්‌ට්‌ ශතක 6 ක්‌ සහ එක්‌දින ශතක 5 ක්‌ වාර්තා කරමින් එම වසරේදී දෙඅංශයෙන්ම ලකුණු 1000 සීමාව පසුකර(ටෙස්‌ට්‌ තරග වල ලකුණු 1097 ක්‌ සහ එක්‌දින තරගවල ලකුණු 1000ක්‌) යැමට සමත්වූවේය.

එම වසරේදී එංගලන්තයේ පැවැති පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ලකුණු 317 ක්‌ රැස්‌ කරගත් ඩිල්ෂාන් (ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 52.83) එහිදී තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

අදාළ දක්‍ෂතා මත 2009 වසරේදී කණ්‌ඩායමේ උපනායකයා ලෙස ඩිල්ෂාන් නම් කෙරුණද පසුව ඔහු උපනායකත්වයෙන් ඉවත් කොට එම ධුරය පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට පිරිනමන ලදී. මුරලිදරගෙන් පසුව එය හිටපු නායක මහේල ජයවර්ධනට ලබාදෙන ලදී.

ඩිල්ෂාන් ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදීද ශතක 2 ක්‌ සමගින් මුලු ලකුණු 500 ක්‌ වාර්තා කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාවීමටද සමත්විය. එහිදී පන්දු යවමින්ද කඩුලු 9 ක්‌ බිඳ හෙළීම වැඩිදුරටත් කැපී පෙනෙයි.

ඩිල්ෂාන් ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ 11 වැනි නායකයාය. ඔහුට පෙර බන්දුල වර්ණපුර(1982-1983), දුලීප් මෙන්ඩිස්‌(1983-1987), රන්ජන් මඩුගල්ලෙ(1987-1989), අර්ජුන රණතුංග(1989-1991), අරවින්ද ද සිල්වා(1991-1992), අර්ජුන රණතුංග(1992-1999), සනත් ජයසූරිය(1999-2003), හෂාන් තිලකරත්න(2003-2004), මාවන් අතපත්තු(2004-2006, මහේල ජයවර්ධන(2006-2009), සහ කුමාර් සංගක්‌කාර(2009-2011) ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක තනතුරයන්හි ක්‍රියා කළහ.

ශ්‍රී ලංකා පොලිසියේ විශ්‍රාමික ටී. එම්. ජුනයිදීන් මහතාට සහ ඩබ්. ජී. නන්දනී ප්‍රියලතා මහත්මියට දාව 1976 වසරේ ඔක්‌තෝබර් 14 වැනිදා කලුතරදී උපතල ලද තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්, මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 66 කට සහභාගි වෙමින් එහිදී ශතක 11 ක්‌ සහ අර්ධ ශතක 16 ක්‌ සමගින් මුලු ලකුණු 3990 ක්‌ ලබා ගෙන සිටියි. එහිදී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.44 ක්‌ වශයෙන් රඳවා ගැනීමට සමත්වී සිටින ඩිල්ෂාන් පන්දු යෑවීමෙන් කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 33.31 ක්‌ රඳවා තබා ගනිමින් කඩුලු 19 ක්‌ දවාගෙන සිටියි.

සනත් ජයසූරියගෙන් පසු මෙරට බිහිවූ හොඳම ආරම්භක පිතිකරුවා වූ ඩිල්ෂාන් එක්‌දින තරග 203 කට ක්‍රීඩා කරමින් මුලු ලකුණු 5456 ක්‌ ලබාගෙන තිබේ. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.61 ක්‌ රඳවා තබාගෙන සිටින හෙතෙම එහිදී ශතක 10 ක්‌ සහ අර්ධ ශතක 22 ක්‌ රැස්‌ කරගෙන තිබේ. හෙතෙම එක්‌දින තරග කඩුලු 62 ක්‌ද දවාගෙන ඇත.

එක්‌දින තරග 5 කට නායකත්වය දී ඇති ඩිල්ෂාන් එහිදී තරග 3 ක ජය ශ්‍රී ලංකාවට ලබාදීමට සමත්වී තිබේ. එක්‌දින තරගවලට අමතරව පන්දුවාර 20-20 තරග 2 කටද හෙතෙම නායකත්වය දී තිබේ. 

මෙතෙක්‌ ශ්‍රී ලංකා පිල මෙහෙයවා ඇති නායකයන් 10 දෙනා අතුරින් සනත් ජයසූරිය හැර අනෙක්‌ සියලුම දෙනාම කොළඹ සහ ශ්‍රී ලංකාවේ සුපිරි පාසල් නියෝජනය කළ ක්‍රීඩකයන් වන අතර ජයසූරියට පසු ශ්‍රී ලංකා නායකත්වයට පත්වූ එවැනි දෙවැනි නායකයා වන්නේද ටී. එම්. ඩිල්ෂාන් වේ.

 


Followers